Saturday, April 13, 2013

වාජීකරණය ගැන ඔබ නොදත් රහස් 4ක් ( 18+ලු ඈ )

ගොඩක් දවසකට පස්සෙ ඔන්න අද හිතුන අලුතින් කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න. දැන් ඉතින් සෑහෙන කාලෙකින් ලියන්න වුනෙත් නෑනෙ. ඉඳල ඉඳල ලියන්න ගත්තු පෝස්ටුව අපි හැමෝටම ටිකක් වැදගත් ඒත් වැඩිය කතා නොකරන මාතෘකාවක් ගැන ලිව්වොත් හොඳයි කියල හිතුන.

වාජීකරනය...... වහෙන් ඔරෝ කියනව නම් ලිංගික ශක්තිය නැතහොත් ලිංගික සරුබව වර්ධනය කිරීමේ වේදය පුරාතනයේ ඉඳන් ආයුර්වේදයේ පැවතගෙන එන්නක්.ලොකු ලොකුවට ආයුර්වේදය ගැන දන්නෙ නැති වුනත් මේ සමහර පොඩි පොඩි දේවල් නොදැනුවත්වම සාමාන්‍ය ජීවිතේදි දැනගත්තොත් ඒක බොහෝ විට අපිටම වැදගත් වෙනව. ගොඩක් ලොකුවට හිතන්නෙ නැතුව අපිට අපේ අවට තියෙන සාමාන්‍ය දේවලිනුත් ජීවිතේට උදව් ගන්න පුලුවන්.

දරු ඵල කියන්නෙ ගොඩක් අයගෙ ලොකු බලාපොරොත්තුවක් වගේම ජීවිතේ සෑහෙන කාලෙක ඉඳල දකින හීනයක්.ඊට වුවමනා මේ ලිංගික සරු බව විවිධ සාමාජීය තත්ත්ව අනුව වෙලාවක මීට සෞභාග්‍යමත් පිරිසිදු බවක් ආරූඩ වෙනව වගේම විටෙක මේක වනචර වුනු කුනුහරුපයක්.

එදි නෙදා කේවල වැඩකිඩ හා හොර වැඩකිඩ පැත්තකින් තිබ්බොත් අපිට මේ වචනය ආපහු වැදගත් වෙන්නෙ කසාදය කියන මාතෘකාවත් එක්ක. කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය.


දැන් බොලා බලන්නෙපා ඇයි මේ පොල්ලක් අල්ලගෙන නටන ගෑනු දැරිවියක් පෙන්නුවෙ කියල. ඕක පෙන්නල කියන්න ඕනි වුනේ පොල්ල හයිය නම් තමා නැටිල්ල කියල. පණ නැති පොල්ලක තව කොහේ එල්ලෙන්නද :p

වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම ගුරු මුෂ්ඨි නැතුවම උඹලට කියන්නම්කො මේ පොඩි රහස් 4. බොලාට වැඩේ රහ වැටෙන්නත් එක්කම පුංචි කතා 4කින්ම කියන්නම්.


1. කිරි බීවොත් කිරි උතුරයි

ඔන්න දවසක් සිංහල පිරිමි ළමයෙක් හින්දු ගෑණු ළමයෙක් එක්ක පෙමින් බැඳිල කොහොමහරි මේක කසාදෙ වෙනකල්ම ආශිර්වාද මැදින් සිද්ධි කාරණා වුනාලු. චාරිත්‍ර වාරිත්‍ර මැද වුනු මේ කසාදෙන් පස්සෙ චාරිත්‍ර පරිද්දෙන්ම මංගල රැය, ඒ කියන්නෙ හනිමූන් එක දෙන්නට ගතකරන්න වුනේ මනාලියගෙ ගෙදරලු. මේ පිරිමි ළමය සාමාන්‍යයෙන් එළකිරි (එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරී) බොන කෙනෙක් නෙමේලු.ඒත් දෙන්න රෑ කාමරේට යන්න කලියෙන් මනාලියගෙ අම්ම, ඒ කියන්නෙ කොල්ලගෙ නැන්දම්ම කටකපල ලොකු එළකිරි වීදුරුවක් ගෙනල්ල තිබ්බලු කොල්ලට බොන්න කියල. කොල්ල බොන්න බෑ කියන හැම වෙලාවකදිම කෙල්ල ඉල්ලල හිටියෙ ඒක කොහොමහරි බොන්න කියලලු. කොල්ල ඒ ඇයි කියල අහද්දි තමයි දැනගෙන තියෙන්නෙ පලවෙනි මංගල රෑ නිදාගන්න කලින් කිරි වීදුරුවක් බොන එක ලිංගික ශක්තිය වැඩි කරන්න උදව් වෙනව වගේම ඒක හින්දු චාරිත්‍රයක් කියලත්. කිරි වල වාජීකරණ ගුණයක් තියෙන බව හැබෑව. ඒත් ඒ බොන කිරි ස්වභාවික කිරි වර්ගයක් වෙන්න ඕනි. (මනාලිගෙන් කිරි ඉල්ලල ගුටිකන්න හෙම යන්නෙප :D). ඒ වගේමයි කිරිත් එක්ක කෑමට දෙන තවත් බෙහෙත් වර්ග වලින් අවුරුදු ගනන් තිබුනු සමහර ලිංගික ආබාදත් හොඳ කරන්න පුලුවන් ක්‍රම තියෙනව ආයුර්වේදයේ.


2. බැඳල ගිහින් හති වැටෙද්දි කෝලිකුට්ටු
ඔන්න සල්ලිකාර පවුලක එකම පුතා වෙච්චි පුන්සිරි (එහෙම කියල හිතමුකො උගෙ නම) වෙඩින් හෝල් එකෙන් යාලුවොන්ගෙ සතුටු ජයඝෝෂා මැද්දෙ මධුසමයට යන්න මංගල රථයට ගොඩ වුනාලු. ජෝඩුව නැගල දෙයියනේ කියල ඉන්න එවුන්ට ටටා බායි කියල වැදගත් වැඩේට පිටත් වෙද්දිම බාගෙට ඇරල තිබුනු ජනේලෙන් කෝලිකුට්ටු ඇවරියක් දැම්මලු යාලුවෙක් කොල කෑල්ලක ලියපු පණිවිඩේකුත් එක්කම. ලියල තිබුනෙ "මධුසමයට ජවය" කියලලු. තරුණ කමට කෙලිලොල් කමට හුදෙක් විහිලුවක් විදිහට මේක කලත් ඇත්තටම කෝලිකුට්ටු ප්‍රෝටීන් බහුල කෑමක්. ඒ වගේමයි හොඳ ශක්තිජනක කෑමක්. වාජීකරණ ගුණයක් තියෙනව කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ඒක හින්ද ඕන් ගෑණු ළමයි තමුන්ගෙ පිරිමි ළමය බලන්න ගෙදර යද්දි චොකලට් එකක් අරන් යනවට වඩා ඕන් හොඳට ඉදුනු කෝලිකුට්ටු ඇවරියක් අරන් ගියානම් හොඳයි ;)


3. ඇඳ පොල්ලයි අලු කෙසෙලුයි
ඔන්න ජෝඩුවක් කසාද බැන්දලු. එයාල පදිංචියට ගියේ ඒ ගෑණු ළමයගෙ ගෙදරලු. ජෝඩුව ඉන්න ගෙදර තියෙන ටීවී එකට අමතරව තවත් ටීවී එකක් ගෙනාවලු දෙන්නට කාමරේ ඉඳන් නිවීසැනසිල්ලෙ බලන්න. එතකොට ඉතින් කාටවත් කරදරයකුත් නෑනෙ. හිටපු පුංචි කාමරේ ඉඩ අඩු හින්ද ඇඳේ වාඩිවෙලා තමා බැලුවෙ ටීවී එක.අම්මල දන්නෙ නෑනෙ දෙන්න කාමරේ සද්දෙට ටීවී එක දාගෙන දොර වහගත්තම මොකෝ වෙන්නෙ කියල. කොහොම හරි දවසක් දෙන්න ටීවී බල බල ඉද්දි දෙන්නගෙ බරට ඇඳේ පොල්ලක් කඩාගෙන වැටුනලු මහ හයියෙන්. මේක කොහොමහරි අම්මට ඇහිල. පහුවෙනිද අර කොල්ල ඔෆිස් ගිහින් බත් එක දිගහැරල බලද්දි වෙනවද වැඩිය දකින්න නොලැබෙන විදිහට අලුකෙසෙල් වැඩිපුර ගොඩක් බෙදල තිබුනලු. එතකොට තමයි අරූට මීටර් වෙලා තියෙන්නෙ ඇඳපොල්ල වැටුනු සිද්ධිය අම්ම වැරදියට තේරුම් අරන් කියල. අම්ම හිතල තියෙන්නෙ විසේට දඟලල ඇඳපොලුත් පෙරලිලා කියල : . ඇත්තටම ඒත් අලුකෙසෙල් වලින් අන්තර් ලිංගිකව ඇතිවෙන විසේ, දැඟලිල්ල නවත්තන්න බෑ. ඒක බොරුවක්. අලුකෙසෙලුත් ශක්තිජනක කෑමක් බව ඇත්ත. වැඩියෙන් ඔසප් රුධිරය පිටවෙන ගෑණු උදවියට අලුකෙසෙල් ගොඩක් හොඳ කෑමක්. ආයුර්වේදයේ දියවැඩියා රෝගීන්ටත් අලුකෙසෙල් යොදාගත්තු බෙහෙත් වර්ග භාවිතා කරනව. ඒ නිසා අලුකෙසෙල් වලින් පිරිමින්ගෙ ලිංගික ශක්තිය අඩු වෙන්නෙ නෑ. බය නැතුව කාහල්ල :p


4.වැල් පෙනෙල ශාකා - ගිතෙලින් මලවලා කා
   අඹු නොතකන එකා - අඹුන් දහසක් වුවද සලකා
දවසක් ඔන්න මල්සිරි කියල එකෙක් හිටියලු. මිනිහට තිබුනලු ලිංගික අප්‍රාණිකත්වය තරමක් දුරට. වැඩේට ලෑස්ති වෙන්නෙ සෑහෙන ආයාසයකින්ලු. මිනිහ පොලේ යන හැම පාරකම කොළ පලා විකුණන තැනට ගිහින් එතනින් ගන්න කොළ මිටියක් කවුරුත් දකින්නත් කලින් වෙනම මල්ලකට තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිවෙන්න අඩුක් කරගන්නවලු. දවසක් ඉතින් මේක ටික කාලයක් තිස්සෙ බලන් හිටපු කොල්ලො රැලක් මේ මොනාද හංගගෙන දුවන්නෙ කියල බලන්නත් එක්කම වැරදීමකින් වගේ අරූගෙ ඇඟේ හැප්පුනාලු අර බඩුටිකත් එක්කම පෙරලගෙන. බැලින්නම් හැමදාම මේ හොරෙන් හොරෙන් අරන් ගිහින් තියෙන්නෙ වැල්පෙනෙල මිටියක්. ඇත්තටම වැල්පෙනෙල ගොඩක් වටින වාජීකරණ ඔසුවක්. කැලෑවල වැවෙන මේ වැල් ජාතියෙ පිරිමින්ගෙ ලිංගික ශක්තිය වගේම සරුබව වැඩවීමටත් පුදුම තරමේ ගුණයක් තියෙනව කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව. වැල්පෙනෙල ගිතෙල් වලින් මලවල කන්න පුලුවන් නම් තවත් ගොඩක් ගුණයෙන් වැඩී. කොයි විදිහෙන් හරි කෑමට වැල්පෙනෙල් එකතු කරගන්න පුලුවන් නම් ඒක පිරිමින්ට නම් ගොඩක් වැදගත් වේවි. කැලවල් ගානෙ රිංගන්න ඕනිමත් නෑ ඉතින්. හොයාගන්නම බැරිනම් දැන්කාලෙ තාක්ෂනෙත් දියුනුයි නෙව ;)
ලඟදිම දවසකදි ආපහු එකතු වෙමුකො අලුත් වටින දේවල් ගොඩක් එක්ක :) එතකල් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

එහෙනම් 2013 අප්‍රේල් 21 වෙනිදට මහරගම තරුණ සේවා සභා පිටියෙදි හම්බුවෙමු. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම වටා රොද බඳිමු. වැඩි විස්තර මෙතනින්.

....................

Tuesday, November 20, 2012

සිහින මුතුකැට එකට අමුනන නියමු කැලට එක්වන්න ඔබත් කැමතිද?



සිහින............... සිහින කියන දේ හැම සිතක් තුලම පවතිනව.සතුන්ගෙ මිනිසුන්ගෙ කියල ඊට වෙනසක් හිමිවෙන්නෙ සිහිනයේ තියෙන පරිණත බවිනුත් ඒ සිහින සැබෑ කරගන්න දරන උත්සහයෙනුත් පමණයි.

හිතේ මතු වන මේ පුංචි පුංචි හීන සමහරුන්ගෙ හිතේම ලියලල හිතේදිම මියයනව.ඒකට අපිට ඒ හිත් වලට බනින්න බෑ.ඒ ඔවුන් ඊට මූන දෙන විදිහ.ඒත් මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම මේ අතරින් සමහර හිත් වලට මේ හිතේ පිරිල නලියන සිතිවිලි දරාගෙන ඉන්න බැරි වුනා.ඒ හිත් වලට ඕනෙ වුනා මේ පිරිල නලියන සිතිවිලි සමුදාය තවත් ඒ වගේම හිත් එක්ක බෙදාගන්න.

මානව විකාශනයත් සමගම මේ අය අංග චලන ඔස්සේ හා ශබ්ද ලෙස මේ ඇතිවෙන සිතිවිලි අනිත් අයත් එක්ක බෙදාගත්ත.ඒත් මේ විකාශනය මිනිසුන් භාෂාවන් සොයාගැනීමත් සමගම යම් යම් ලෙස දියුණු වී පරිනත වූ ආකාරයකින් අපිට අපේ මේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් උනා.

සලර පින්තූර ඔස්සේ ගොඩ නැගුනු මේ භාෂා, සංකේත, සෙල්ලිපි ඔස්සේ අක්ෂර මාලාවක් දක්වා යොමුවූ තැන මීට අත්පිටපත් ක්‍රමය හා මුද්‍රිත ක්‍රමයන් ද එක්වුනා.

නවීනව දියුනු වෙන ඉලෙක්ට්‍රොනික ලෝකයේ ඩිජිටල්කරණය වූ මාධ්‍යන් තුල මේ සිතිවිලි මෙහෙයුම් කරුවන් යුනිකේත ඔස්සේ නවමු මං මාවත් සොයා ගියා.ඉතින් ඒ ලෝකයක් හසුරුවන සිතිවිලි මෙහෙයුම්කරුවන්ගේ නවතම තෙලිතුඩ තමයි ඔයත්, මමත්, තවත් ගොඩක් අයත් මේ ඉන්න බ්ලොග් අවකාශය.

ඉතින් මේ වගේ මෙහෙයුම්කරුවන් හරියටම බැලුවොත් මාලයක මුතුකැට වගේ.අමුනන්න කලින් ලෝකෙ පුරාම විසිරිලා තැන් තැන් වල.ඒත් සාර්ථක නියමුවන්ට පුලුවන් මේ වගේ මුතුකැට ගොන්නක් ලස්සනට එකිනෙක අමුනන්න.

බොලාව එකාට එකා තියල අමුනන්න නෙමේ බොල යන්නෙ >:(.බයවෙන්නෙපා :p

ඉතින් මේ සිහින මුතුකැට 2011 වසරෙදි පළමුවෙනි සිහින උළෙලෙදි මුලින් එක්කාසු උනාට පස්සෙ 2012 වසරෙ සිහින උළෙලෙදිත්, ඒ අතරතුර අවස්ථා කීපයකත් කීපවිටක්ම එක්කාසු වුනා.ආඩම්භරයෙන් කියන්න ඕනි කාරණයක් නම් ඒ එක්කාසු වුණු හැම අවස්ථාවකදීම අපි සතුටු වුනා වගේම අපිට තව තවත් අහිංසක හිත් වලට සතුටක් දෙන්නත් පුලුවන් වුනා.අදට වගේම මියැදෙන තාක් ඒ සතුට නම් හිතෙන් මැකෙන එකක් නෑ.සැහ්..... කඳුලුත් ආව බොල ඇස් දෙකට ඒව මතක් වෙද්දි .මෙන්න ඒ මතකයෙන් බිඳක්


සයිබර් සිහින උළෙල 2011


සයිබර් සිහින උළෙල 2012


ඉලන්දාරියා වෙන්වෙන් එක්වීම (පින්තූර අයිතිය බුද්ධි)


ජෙරූෂා දියණිය වෙන්වෙන් එක්වීම (පින්තූර අයිතිය දුකා අයියා)


ගලහිටියාගොඩ විද්‍යාලයට පොත් පරිත්‍යාග කිරීම

ඉතින් මේ වගේ වැඩක සංවිධායක ක්‍රියාවලිය නම් වගකීම් සහගත, ඒත් සුන්දර අත්දැකීමක්.අදටත් ඒ මතකයන් මතකෙට එද්දි කටට හිනාවක් එන්නෙ හිතටත් නොදැනිමයි.ඉතින් ඒ වගේ දෙයක් කරන්න නම් මේ සඳහා බ්ලොග් නියමුවන් පිරිසකුත් අවශ්‍යයි


මොකාද බොල මේ අමුතු නියමුවා o.O


.
.
.
.
.
.
.
.
.
.


.
.
.
.
.
.
.
.
:/ නෑ නෑ ඌ නෙමේ බොල.ඒ ගුවන් නියමුවා :/

මං එහෙම නියමුවන් කියල කිව්වෙ අර කලින් සඳහන් කරපු සංවිධායක පිරිසට.අපි මේ කතා කරන්නෙ ගමක්, නගරයක්, පලාතක් සම්බන්ධව නෙමේ.ගෝලීයකරණය ඔස්සේ ජාලගත වූ මුලු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සිංහල බ්ලොග් කරුවන් ගැන.ඉතින් මේ බ්ලොග් කරුවො ගොඩක් ඉන්න "බ්ලොග් අවකාශයේ මිතුරෝ" කියන මුතු අහුරෙහි අලුත් වසරක් වෙනුවෙන් තෝරන අලුත් නියමුවන් ගොන්නට එකතුවෙන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක් තියේ.සීමාසහිත පිරිසකට තමයි ඉතින් මේ අමිල වරම ලැබෙන්නෙ.කැමති හැමෝම අයදුම් කරන්න.අයදුම්කරුවන් සියලු දෙනාවම අපි ඉදිරි දිනක් ඔස්සේ එක්කාසු කරල නව නියමුවන්, නියමුවරියන් පිරිස තෝරන්නයි හදන්නෙ.ඔන්න මගහරින්න නම් එපා.ජීවිතේ සුන්දර අත්දැකීමක් වගේම ජීවිතේට ලොකු පන්නරයක් වේවි මේ දේ.


සයිබර් සැනකෙළිය නිල බ්ලොග් අඩවියේ මේ හා සම්බන්ධ විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මෙන්න අයදුම් පත්‍රය.එහෙනම් හමුවෙමු ඉදිරියෙදි.ජය





කලින් අත්දැකීම් තිබුන හෝ නැතා කියල කිසිම අවුලක් නෑ.පොඩ්ඩක් වත් බයවෙන්නෙපා.ඕනිම කෙනෙක්ට අයදුම් කරන්න පුලුවන්.තමුන් සතුව නියමුවෙක් විමේ වාසනාව ඇත්නම් එය කිසිවකට වැලැක්විය නොහැකියි.








Wednesday, October 31, 2012

ඇට දෙක පුපුරලා (අවාසනාවට ඇත්ත කතාවක්)




ඕන්න ඉතින් අද කියන්න හිතුන ජීවිතේ අත්දකින්න ලැබුනු අමුතුම සිද්දියක රසවත් කතන්දරයක්.මේක ඉතින් වුනේ නම් ඉස්කෝලෙ යන කාලෙදිලු.

එදා කොහොමින් කොහොම හෝ වැඩිය උගන්වපු දවසක් නෙමේ.වැඩිමනක්ම තිබුනෙ ෆ්‍රී පීරියඩ්.එතකොට මම හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියේ.සමහරු සෙල්ලම් කරනවා, පොත් ගුල්ලො පාඩම් කරනව, වලි කාරයො වලි, ඒ අස්සෙ ඕන් මං තුමයි යාලුවො සෙට් එකයි කලේ අනංමනං ජල්බරි අත්දැකීම් විස්තර කරනගමන් කෑම කාපු එක :p

දන්නවනෙ ඉතින් ඒ කාලෙදි කෑම කන හැටි.බත් මුල මේසෙ උඩින් තියල අරින්න විතරයි ඕනි සටපටස් ගාල වාශ්ප වෙනවනෙ.මාලු කෑල්ල හරි මස් කෑල්ල හරි අහු උන එකාට නම් නියමයි.මැල්ලුම වගේ අතට අහු උනොත් ඉතින් ඉවරයි.ඒකටත් අත දාන්න පරක්කු උනොත් ඉතින් අරන් දුවන්න වෙන්නෙ බත් කොලේ හරි පත්තර කොලේ හරි තමයි :D

එදා ඉතින් වැඩිය කට්ටිය හිටපු නැති එකේ සෑහෙන කාලෙකට පස්සෙ දුගී දුප්පත් යාචකයො රැලක් වගේ බජව්වක් දාගෙන හෙමින් හෙමින් කෑම කන්න අපිට ලැබුන.



ඉතින් ඔහොම ඉන්න අතරෙ ඔන්න ඉතින් දැන් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ම එදා ඇවිත් තිබුනෙ නෑ ඉස්කෝලෙ.ඒ අතරෙ කොහොම හරි අපේ එකම බොක්කක් හිටියෙත් නෑ පේන්න.අපි දැනට මෑන්ස්ට ප්‍රියාන් කියල කියමුකෝ.කොහොම හරි දහසකුත් කතා මැද්දෙ ඇයි අද ප්‍රියානය ඉස්කෝලෙ ඇවිත් නැත්තෙ කියන තැනට වෙනකල් කතාව ආව.ඒත් එක්කම පැනපු ගමන් එකෙක් කියපි............

මිනිහ මැච් එකකට ගිහින්.මැච් එකෙන් පස්සෙ පොඩි වලියක් ගිහින්.වලියෙදි කාපු පාරකට මුගෙ ඇට දෙක පුපුරල කියල.

අහපු ගමන් අපිට හිතාගන්න බැරි උනා මොකෝ උනේ.යකෝ එහෙනම් සැර පාරක් වැදිල ඇති කියල අපිට හිතුනෙ.මෙන්න මේ වගේ රූපයක් තමා හරියටම හිතේ මැවුනෙ


ඒ අස්සෙ කට්ටියගෙ කටවල් ඇරිල.බලාගත් අත බලං ඉන්නව සෙට් එකම දැන් මුකුත් හිතාගන්න බැරිව.ඒ අස්සෙ මට එහා පැත්තෙ හිටපු එකා හෝ ගාල කහිනව.බැලින්නම් ඌට කෑම හිරවෙලා


ඇහුන දේ හරිමද මන්ද කියල හිතුනු නිසා මං ආයෙත් ඇහුව " ආපහු කියපිය බලන්න " කියල.බැලින්නම් මූ කියල තියෙන්නෙ ඇට දෙකක් පුපුරල කියල.මූ බත් කටක් ගිලින ගමන් කියපු නිසා අන්තිම අල් කයන්න "ක්" ශබ්ද වෙලා නෑ.


පස්සෙ තමා මූ කීවෙ මැච් එක ඉවර වෙලා ගිය වලියෙන් බෙල්ලට වැදුනු පාරක් නිසා බෙල්ලෙ ඇට (අස්ථි) දෙකක් බිඳිල අරූව ඉස්පිරිතාලෙ නවත්තල කියල :p


කොහොමින් කොහොම හෝ අපිට අන්තිමේ වුනේ අර කෑම හිරවෙච්ච එකාව ඉස්පිරිතාලෙ අරං යන්න :D

Saturday, September 8, 2012

ආදරේදි වැඩිපුරම වැදගත් ලොකුම ලොකු දේවල් වලට වඩා පුංචිම පුංචි දේවල් - පුංචි ආදර කතාවක්

ගොඩ කාලෙකට පස්සෙ හිතට දැනෙන විදිහට කතා කරන්න හිතුනා.හිතේ සිතිවිලි නැතිව ඔහේ ඉබාගාතෙ හිතන්න වෑයම් කරද්දි මේ දේ මට කියවන්න ලැබුනෙ ෆේස්බුක් එකේ Sinhala රසකතා කියන පිටුවෙන්.මේ තරම් රස හැඟීමක් වෙනස් කරන්නෙ මොකෝ.ඉතින් මං ඒක එහෙම්මම උපුටල ගත්ත.දන්නවද මේකෙ වැදගත්ම දේ.පුංචි පුංචි දේවල් තමා ආදරේදි ගොඩක්ම ලොකුවට දැනෙන්නෙ.කියවලම බලන්නකෝ



මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා.




ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..

ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.




නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.




දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා




ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා.




එදින සවස ඈන් කාර්යාලයට ආවා.

"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.


මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.

"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"

ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා



.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,




"ඇයි"

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.

"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.




ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.




ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.




පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි.




ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.




මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා

"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"

මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.

"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.

"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.

"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"

"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.

පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.

"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.

දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.

"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.

ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.

"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.

දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.

තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"

හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා.

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්.
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ.

දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,

"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.

මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.

දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.

"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා.

"අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.

මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.

"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.

"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"

ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.

"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""

ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.

මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා.




"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.

.
.
.
.
.
.

Saturday, August 4, 2012

මට නොතේරුනු ජීවිතේ වෙනසක් අතිශය කෙටියෙන්







ඉස්සර මට මතකයි අපෙ ගෙදර ඉන්ටර්නෙට් නොතිබ්බ කාලෙ හැමදාම හවසට නාල එහෙම ඇඳට ගිහින් ඇලවෙලා ෆෑන් එකත් දාගෙන නින්ද යනකල්ම ෆෝන් එකේ හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ගහගෙන එෆ්.එම් අහ අහ කල්පනා කර කර හිටියෙ හැමදාමත් ඉබේම දන්නැතුව නින්ද යනකල්ම.හිත ගොඩක් සක්‍රීයයි ඒ කාලෙදි.හැම මොහොතකම අලුත් අදහස් වලින් වගේම හිතේ කල්පනා කිරීමෙන්ම ගොඩනැගුනු කළාත්මක බවක් එකතු වෙලා තිබුන.පහුවෙනිදට නැගිට්ටමත් ගොඩක් ප්‍රබෝධමත්.ඒත් දැන් ෆේස්බුක් නිසා හැමදේම කනපිට වෙලා.මේකට ලොග් උනාම අලුත් දේවල් ඔස්සේ කල්පනා කරන්න වෙලාව නැත්තටම නැතිම තරම්.හැමදාමත් වෙන්නෙ නිදිමත ඉවසගන්න බැරුව ඔලුව කැක්කුම හැදිල ඇස් කකියනකම් මේකෙ ඉන්න එක.හරිම විඩාවයි.ඇයි අපේ ජීවිත වලට මෙහෙම උනේ.මේක දෛවයේ වරදක්ද නැත්නම් අපේ තෝරා ගැනීමේ වරදක්ද.මට නොතේරුනු දෙයක් තවත් මේ ගැන ඇත්ද.තීරණය ඔබ සතුයි.හේතුව දන්නේ නම් මටත් කියා දෙන්න.ජීවත් වන බව දනිමි.ඒත් ඒ ජීවිතයමද බව මම තවමත් නොදනිමි....